පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි
June 18, 2026 02:07 pm
2019 පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද විමර්ශනයට අදාළ සියලු තොරතුරු ලබාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒවා මේ වනවිට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව එම පක්ෂය පෙන්වා දෙයි.
පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති පසුබිමක රජය අදාළ තොරතුරු එක්සත් ජනපද බලධාරීන්ගෙන් විධිමත් ලෙස එම තොරතුරු ඉල්ලා තිබේදැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියේ, එවැනි ඉල්ලීමක් රජය කර ඇත්නම් එක්සත් ජනපදයෙන් ලැබුණු ප්‍රතිචාරය හෙළි කළ යුතු බවය.
එක්සත් ජනපද විමර්ශනය හරහා ලබාගත් සියලුම විමර්ශන තොරතුරු ශ්‍රී ලංකා අධිකරණ බලධාරීන්ට ලබා ගත යුතු බව ඔවුන් එමඟින් අවධාරණය කරයි.
2019 අප්‍රේල් 21 වන දින ප්‍රහාර සම්බන්ධයෙන් සම්පූර්ණ එක්සත් ජනපද විමර්ශනයක් සහ වාර්තාවක් එවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය සහතික කරමින් මෙම ඉල්ලීම ඒ මහතා සිදු කළ බව අදාළ නිවේදනයේ දැක්වේ.
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී ද එවැනිම ඉල්ලීමක් සිදුකළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඒ අනුව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි අංශ ඇතුළු ශ්‍රී ලංකා ආයතන සමඟ සහයෝගයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කර, පසුව ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
2020 නොවැම්බර් 12 වන දින FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියාවේ අධිකරණයේ ගොනු කරන ලද පිටු 71 ක දිවුරුම් ප්‍රකාශයක් මෙන්ම 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු ඇති බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
නඩුවේ නම් කර ඇති සැකකරුවන් කිහිප දෙනෙකු ඒ වන විටත් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන බව අදාළ නිවේදනයේ සඳහන්ය.
ඒ හේතුවෙන් එක්සත් ජනපද විමර්ශන අංශ සහ අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවට එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.
වත්මන් රජය විසින් එයට ප්‍රවේශය ඉල්ලා තිබේද යන්න පැහැදිලි කරන ලෙසත් එවැනි ඉල්ලීමක් කර ඇත්නම් එහි ප්‍රතිඵලය හෙළි කරන ලෙසත් රජයෙන් එම පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටියි.


